Nillanthan Maha, translated by Jivendran Nadarajah & Athula Vithanage… and courtesy of IDSLANKA.ORG
ONE =නිලාන්දන්: තිස් පස් වසක් රක්නා කළු ජූලියේ උරුමය කුමක්ද?
TWO =නිලාන්දන්: නයාරු ධීවර ගැටුම පිටුපස විජයෝන්මාදයේ සෙවණැලි
ONE = තිස් පස් වසක් රක්නා කළු ජූලියේ උරුමය කුමක්ද? …. 28 August 2018 … http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-13-45/2014-12-20-03-15-31/791-nayaru-arson-attack….. http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-13-45/2014-12-20-03-15-31/780-2018-08-05-19-26-55-nilanthan
කළු ජූලියේ තිස් පස් වැනි සංවත්සරය යෙදී තිබුණේ මේ ගෙවීගිය ජූලි මාසයට ය. ‘අවාසනාවන්ත‘ එම සිදුවීම් ගැන නැවත නැවතත් ආවර්ජනය කළ යුත්තේ මන්දැයි තවමත් විමසන දකුණේ ඇතැම්හු දැන් අවශ්‍ය වන්නේ අනාගතය ගැන කල්පනා කිරීම බව කියති. නමුත් එම අනාගතය කරා අප ගෙනයන උරුමය අතීත සාපරාධී සිදුවීම්වලින් තීරණය කරනු ලැබ තිබීම ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට උත්සුක වන්නේ අල්පයකි. කළු ජූලියෙන් තිස් පස් අවුරුද්දක් ඇවෑමෙන් ද, යුද ගැටුම් නිම වී නම වසක් ඇවෑමෙන් ද සිංහල – දෙමළ ජාතීන් අතර සබඳතා හැඩගස්වන දේශපාලන උරුමය කවරේදැයි විමසා බැලීමට දෙමළ දේශපාලන විචාරක නිලාන්දන් යොමුවන්නේ ඒ නිසා ය.
පරිවර්තනය: ජීවේන්ද්‍රන් නඩරාජා හා අතුල විතානගේ
සිංහල ජාතිවාදී බලවේග විසින් මනා ලෙස සැළසුම් කොට දියත් කෙරුණු වර්ග සංහාරක ප්‍රහාරයක් ලෙස 1983 ජුලි ප්‍රචණ්ඩ ක්‍රියා හැඳින්විය හැකි ය. දෙමළ ජනයා සතුව තිබු ආර්ථික ශක්තිය බිඳ දැමීමේ අරමුණු ඇතිව දකුණේ ඇතැම් සිංහල ජනයා මීට මැදිහත් වුයේ එවකට පැවති ආණ්ඩුවේද අනුග්‍රහය ඇතිව යැයි කීම අතිශයෝක්තියක් නොවේ. සංහාරය දියත් කිරීමට පෙර සිටම ජනාධිපති ජයවර්ධන විසින් කරන ලද ප්‍රකාශ මගින් ද ඒ බව සනාථ වේ. ඒ මොහොතේ ඔහුගේ ආණ්ඩුව විසින් දෙමළ ජනයාට අවශ්‍ය ආරක්ෂාව දැනුවත්වම ලබා දීමට කටයුතු නොකළේය. ඒ අනුව බලතොත්, 2009මැයි මාසය තරම්ම, 1983 ජූලි මාසය ද ලංකා ඉතිහාසයේ දේශපාලනික වැදගත්කමක් උසුලනු ඇත. 1983 ජූලි සංහාරයෙන් පසුව ලංකාවේ කටයුතු වලට පිටස්තර බලවේග වලට සෘජුවම අතපෙවීමේ දොරටු විවෘත කෙරිණි.
1983 ජූලි සංහාරයේ බලපෑම සරළව මෙසේ පෙළගැස්විය හැකි ය:
- ලංකාවේ බහු සංස්කෘතික විවිධත්වය තීරණාත්මකවම බිඳ වැටීම.
- ලංකාව ජාත්‍යන්තරව වඩා අපකීර්තිමත් රාජ්‍යයක් බවට පත්වීම.
iii. යම් වත්පොහොසත් කමක් තිබු දෙමළ ජනයා රැකවරණය පතා වෙනත් රටවලට පළා යාම.
- සිය අයිතීන් දිනා ගැනීම සඳහා එකම විකල්පය ලෙස දෙමළ ජනයා සන්නද්ධ අරගලයක් කරා තල්ලු කර දැමීම.
- ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දීය රජයේ සෘජු බලපෑම හා ඒ සඳහා දොරටු විවෘත වීම.
ඉන්දියාව හා සීතල යුද්ධය
සීතල යුද්ධය බල පැවැති එම වකවානුවේදී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව සමීපව සිටියේ එකසත් ජනපදය ප්‍රමුඛ සෙසු බටහිර බලවතුන්ගේ කඳවුර සමඟ ය. නමුත් විදෙස් පිළිවෙතේදී ඉන්දියාව වඩා සමීපව කටයුතු කරන ලද්දේ සමාජවාදී සෝවියට් සංගමයේ මූලිකත්වයෙන් සැදුම්ලත් වෝර්සෝ කඳවුරට සමීපව ය. ලංකාව එක්සත් ජනපද හා බටහිර ගැති වීම ඉන්දියානු උප මහාද්වීපික භූ දේශපාලන කළාපයේ බලවතා ලෙස ඉන්දියාවට බලවත් ගැටළුවක් වූයේ ඒ නිසා ය. 1983 ජූලි සංහාරය විසින් ජයවර්ධන ආණ්ඩුව මෙල්ල කර, ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය ස්වකීය ග්‍රහණයට ගැනීමට අවශ්‍ය පසුබිම ඉන්දියාව හමුවේ නිර්මාණය කර දුන්නේය. තිස් වසකට ආසන්න කාලයක් යුද්ධය ඇවිළ ගියේ ඒ අනුව ය. අවසානයේ විශාල මිනිස් සංහාරයකින් නන්දිකඩාල් කළපුවෙන් හමාර කරන ලද්දේ ඒ අවි ගැටුමයි.
ජේ.ආර්.ජයවර්ධන
1983 ජූලි සංහාරය ගැන කම්පා වන බොහෝ සිංහල බුද්ධිමතුන් ද, කලාකරුවන් හා සංස්කෘතික ක්‍රියාකාරිකයන් ද ඇතුළු විවිධ පාර්ශවයන් සිටිය ද කිසිදු සිංහල දේශපාලනඥයෙක් ඒ පිළිබඳව සිය කනගාටුව පළ කිරීමවත්, දෙමළ ජනයාගෙන් සමාව භජනය කිරීමවත් මේ දක්වා අවංක ආධ්‍යාශයකින් සිදුකර නොමැත. දෙමළ ජනයාගේ සන්නද්ධ අරගලය මර්දනයෙන් යටපත් කොට දමා මේ වනවිට වසර නවයක් ඉක්ම ගොස් තිබියදී පවා එසේ කිරීමට කිසිදු සිංහල දේශපාලකයෙක් ඉදිරිපත් ව නොවන්නේ කණගාටුව ප්‍රකාශ කිරීමට හෝ සමාව භජනය කරන්නට තරම් වරදකාරී හැඟීමක් ඔවුන්ට නොදැනෙන නිසා විය යුතු ය. එක් අතකින් බලතොත්, ලංකාවේ ස්ථාපිත ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය අනුව අනුව එසේ වරදකාරී හැගීමක් ඇති වීමේ ඉඩ කඩ ඉතා සීමිත වන අතර ඒ මගින් ඇති කරන්නේ සාඩම්බරකාරී හැගීමකි. දුටුගැමුණු කතාවේ දැක්වෙන රජුගේ කම්පාව සමනය කරන්නට එන මහා විහාර භික්ෂූන්ගේ අනුශාසනාවන් ඊට දෙස්දෙයි.
දශක ගණනාවක සිටම රුපවාහිනිය, ගුවන් විදුලිය ඔස්සේ පමණක් නොව, නිදහස් අධ්‍යාපනය හරහා ද මේ ථෙරවාදී බෞද්ධාගමේ මූලිකයන් විසින් උත්කර්ශයට නංවන්නේ මේ ආඩම්බරකාර ජන සංහාරක පාඩම ය. ඒ නිසාම, ඉන් පිටුබල ලබන සිංහල ජනයාගේ පොදු මානසිකත්වය බවට පත්ව ඇත්තේ 1983 ජුලි සංහාරය ගැන ජයග්‍රාහී හැඟීමකි. මෙකී තත්ත්වය නිර්මාණය කරනුයේ පෙර සඳහන් ථෙරවාදී බෞද්ධ ක්‍රියා පිළිවෙත විසිනි. ඇතැම්විට එසේ නොවුණා නම් 2009 මැයි මාසයේදී මෙතරම් විශාල ජන සංහාරයක් සිදු නොවන්නට ඉඩක් විය. එමෙන්ම සිංහල ජනයා අතර ‘යුද ජයග්‍රහණය’ සමරන මානසිකත්වය පවා වෙනස් වන්නට අවකාශ තිබුනි.
2009 මැයි ජන සංහාරයෙන් කිසියම් පාඩමක් ඉගෙන ගත්තේ නම් ඉකුත් වසරේදී මහනුවර දිගන ප්‍රචණ්ඩ සිදුවීම් ඇති වන්නේ කෙසේද? ඒ මගින් පෙන්නුම් කරන්නේ පොදු වශයෙන් ගත්කළ සිංහල බහුතරයක් අතීතයෙන් කිසිවක් ඉගෙන ගැනීමට සුදානම් නොමැති බවද?
මා කල්පනා කරන ආකාරයට 1983 ජුලි සංහාරයේ මූලික සැළසුම වුයේ දෙමළ ජනයාගේ ආර්ථික ශක්තිය බිඳ දැමීම ය. එහෙත් සිදුවුයේ එතෙක් ලංකාවට හා ඉන්දියාවට පමණක් සීමා වී තිබූ දෙමළ ජනයාගේ ආර්ථික ක්‍රියාකාරීත්වය ඉන් බැහැරට ද පැතිර යමින් වඩාත් දියුණු වෙමින් ව්‍යාප්ත වන්නට වීමයි. ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් සළකතොත්, විශාල ආයෝජනයන්ට මුල පුරමින්, යුරෝපයේ මෙන්ම කොළඹ දීද ඔවුන්ගේ ව්‍යාපාරික ශක්‍යතා පෙන්නුම් කිරීමට ඔවුන් සමත්ව ඇති අතර, ඒ අර්ථයෙන් ’83 ජුලි සංහාරයේ දී දෙමළ ව්‍යාපාරික පන්තියේ ආර්ථික ශක්තිය බිඳ දැමීමට කළ සැළසුම ව්‍යර්ථ වී තිබේ.
බාහිර මැදිහත්වීම්
නමුත් මෙහි වෙනත් පැත්තක් තිබේ. ’83 ජුලි සංහාරය විසින් ලංකාවට අත පෙවීමට ඉන්දියාවට දොරටුව හැර දුන්නාක් මෙන්, 2009 මැයි ජන සංහාරය තුළින් ඉන්දියාවට පමණක් නොව, එක්සත් ජනපදය හා බටහිර රටවලට ද, චීනයට ද පෙර නොවූ විරූ දොරටු විවෘත කර දී තිබේ.
මහින්ද රාජපක්ෂ
එදා ඉන්දියාව හා දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය අතර ගැටුම නිර්මාණය වන්නට ඉඩ දී ජනාධිපති ජයවර්ධන ඉන් පලා ගිය මුත්, ඉන්පසු ඉන්දියාව ද ඇතුළු සියලු ජාත්‍යන්තරයේ සහයෝගය හා අනුබලය ඇතිව මහින්ද රාජපක්‍ෂ විසින් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය සංහාරය කරනු ලැබීය. එක් අතකින් සළකතොත්, ඒ වනාහී ගෝලීය සන්ධානයක් මගින් දෙමළ ජනයා පරාජය කිරීමක් සේ සැළකිය හැක. සිංහල බහුතරවාදියෝ මෙන්ම ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරය කල්පනා කරනුයේ එය තීරක ජයග්‍රහණයක් වශයෙනි. එහෙත් මේ “ජයග්‍රණය” ලබා ගැනීමට යොදා ගත් මෙවළමක් වූ රාජපක්ෂ පවුල ඊට වසර කිහිපයකට පසුව බලයෙන් නෙරපා හැරීමට තීරණාත්මක ආධාරකයක් ලෙස යොදා ගනු ලැබුවේ යුද්ධයෙන් දිවි ගළවාගත් පීඩිත දෙමළ ජනතාව ය. එමෙන්ම,1983 ජුලි සංහාරය උපයෝගී කරගෙන ස්වකීය කලාපීය අවශ්‍යතා ආරක්ෂා කරනු වස් දෙමළ ජනයාගේ අභිලාෂයන් යොදාගත් පරිදිම, යුද විනාශයෙන් පසු ඉන්දියාව විසින් සිය අරමුණු මුදුන්පත් කරගනු පිණිස දෙමළ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික ඡන්දය යොදාගනිමින් තිබේ.
අනෙක් අතින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජයට පත් කළ පමණින් සිංහල ජනයාට ජයග්‍රහණයක් හෝ ස්වාධීනත්වයක් නොලැබුණු බව රාජපක්ෂලාගේ ක්‍රියාකාරකම් මගින් සිංහල ජනයාට දැන් වනවිට පෙන්නුම් කර දී තිබේ. බලවත් රාජ්‍යයන් විසින් ඔවුන්ට ඕනෑ පරිදි ලෝකය බෙදා ගනු වස් තම පංගුව වෙන් කරගැනීමේ අරගලයක නිරතව සිටින අතර කලාපිය භූ දේශපාලනයේදී ලංකාව එහි සෘජු ගොදුරක් බවට වඩ වඩාත් පෙරළෙමින් පවතී. 2015 ආණ්ඩු වෙනසින් පසු එම එළිපිටම පෙන්නුම් කෙරෙමින් ඇත්තේ එකී බල අරගලයයි. කටුනායක, මත්තල, පලාලි ගුවන් තොටුපළවල් ද, ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට වරායවල් හා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ද ආදී ආර්ථික හා උපායික වැදගත්කමක් ඇති මර්මස්ථාන තමන්ගේ බලාධිකාරයට නතු කර ගැනීමට මෙකී බලවත්හු මේ වනවිට විවෘතවම වෑයම් දරති. සිංහල බහුතරවාදීන් පවසන ආකාරයට 2009 මැයි ජන සංහාරයෙන් රටේ නිදහසක් හෝ ස්වාධීනත්වයක් ඇති වී යැයි කල්පනා කිරීම හුදු හිතළුවක් වන්නේ ඒ නිසා ය.
ගැළවුම් මාර්ගයක්
තමන්ගේ ධුර කාලය අවසන්ව යළි ඇමෙරිකා එක්සත් ජනපදය බලා යාමට පෙර මෙරට හිටපු ඇමෙරිකානු තානාපති අතුල් ප්‍රකාශ්, ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුරුන්දැයි අනියමින් පැවසීය. දෙමළ ජන සංහාරකින් පසු අත්පත් කරගත් බැට උදම් අනන ‘ස්වාධීනත්වය හා නිදහස’ පිළිබඳ යථාර්ථය මීට වඩා හකුළා දක්වන නිදසුනක් තිබේද? රාජපක්ෂලාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු චීනය විසින් සම්පාදනය කළ බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් හෙළිදරව් කරන ලද ඩොලර් මිලියන ගණනක ගණුදෙනු විසින් පෙන්නුම් කරන්නේ අලුතින් අත්පත් කරගත් ස්වාධීනත්වයේ ස්වභාවය පිළිබඳ තිත්ත ඇත්ත නොවේද?
කළු ජූලියේ සිට මුල්ලිවයික්කාල් සංහාරය දක්වා සාපරාධී සිදුවීම්වලට පසුපසින් නිර්මාණය වූ ජාතික, කලාපීය හා ගෝලීය පෙළගැසීම් විසින් පෙන්නුම් කරන්නේ, මෙරට ස්වාධීනත්වය හා නිදහස සැබෑ ලෙසම ගොඩනගා ගත හැක්කේ දෙමළ සිංහල මුස්ලිම් ජනයාගේ බහු වාර්ගික විවිධත්වය පිළිගැනීම මත බව ය. පිටස්තර බලවේගයන්ගේ අනර්ථකාරී මැදිහත්වීම් වළකාගත හැකි එකම මාර්ගය වන්නේ එවැනි ප්‍රජාතාන්ත්‍රික විපර්යාසයක් පමණි. අවුරුදු තිස් පහක් සැපිරෙන කළු ජූලියෙන් සිංහල ප්‍රජාව උගත යුතු වැදගත්ම පාඩම එයයි. එහෙත් දෙමළ ජනයා සංහාරය කිරීමට සැම විටම කැස කවන, ඒ වෙනුවෙන් ඉන්දියාව – ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර හෝ චීනය යනාදී “ඕනෙම යකෙකු” සමග එක්වීමට කැමති සිංහල බහුතරවාදීන් සහ ඔවුනට නායකත්වය සපයන සිංහල දේශපාලනඥයෙන් බලවත්ව සිටින තාක් ස්වාධීනත්වය, නිදහස හා සහජීවනය යනු අරුත් සුන් හිස් වචන පමණි.☐
නිලාන්දන්
*****
TWO: නිලාන්දන්: නයාරු ධීවර ගැටුම පිටුපස විජයෝන්මාදයේ සෙවණැලි. … 28 August 2018
දෙමළ ධීවරයන්ට අයත් රුපියල් ලක්ෂ 50 කට වැඩි වටිනාකමකින් යුත් ධීවර බෝට්ටු, දැල් ආම්පන්න ඇතුළු තවත් බොහෝ දෑ නයාරු වෙරළේදී ඉකුත් සතියේ දිනෙක රාත්‍රියේ ගිණිබත් කර තිබුණි. ඊට එරෙහිව ප්‍රදේශයේ ධීවරයන්ගේ පැමිණිලි කිරීම් අනුව දකුණේ සිට පැමිණි සිංහල ධීවරයන් තුන් දෙනකු පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබුවේ දෙමළ ධීවරයන්ගේ විරෝධය සමනය කිරීම පිණිස ය. නයාරු හා කෝකිලායි මෝය ආසන්නයේ මෙසේ දකුණින් පැමිණෙන සිංහල ධීවරයන්ගේ බෝට්ටු 500 කට ආසන්න ප්‍රමාණයක් නවතා තිබෙනු දක්නට හැකි ය.ඒ වාගේම ඊට ඔබ්බෙන් ඉදි කෙරුණු ධීවර වාඩි ද දකින්නට ලැබේ. මේ සියල්ලම සිදුවන්නේ බලහත්කාරී ආක්‍රමණයක් ලෙස ය.
මෙසේ පැමිණෙන සිංහල ධීවරයන් කිසිවෙක් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවෙන් හෝ ප්‍රදේශයේ ක්‍රියාත්මක ධීවර සංගම්වලින් හෝ කිසිදු අවසරයක් , අනුමැතියක් ලබා නොගනී. සාමාන්‍යයෙන් මාර්තු සිට ඔක්තෝම්බර් කාලය තුළ හලාවත වැනි ප්‍රදේශවල ධීවරයෝ මුලතිව් මුහුදේ මසුන් මැරීමට පැමිණීම වාර්ෂිකව සිදුවන්නකි. මින් පෙර එසේ පැමිණෙන සෑම අවස්ථාවකම අදාළ ප්‍රදේශයේ ධීවර සංගම්වල අවසරය, අනුමැතිය ලබා ගැනීම සිදුව ඇත. ඈත දියඹේ මසුන් මැරීම ප්‍රදේශයේ සාමාන්‍ය ධීවර ප්‍රජාවට එතරම් ගැටළුවක් මතු නොකළ ද වෙරළ ආසන්නයේ නොගැඹුරු මුහුදේ මසුන් මැරීම මගින් ඔවුන්ගේ දෛනික ජීවිතයට කරනු ලබන බලපෑම ප්‍රබල ය. මෑත කාලයේදී දකුණේ සිට එසේ පැමිණෙන සිංහල ධීවරයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් තිබේ. ප්‍රදේශයේ කිසිදු ධීවර සංගමයක හෝ ඊට අදාළ ආයතනයක කිසිදු අවසරයකින් තොරව බෝට්ටු 100 ක් පමණ එකවර නයාරු , කෝකිලායි මුහුදු තීරයන් ආක්‍රමණය කරනු දැකිය හැක. උදාහරණයක් වශයෙන්, පිළියන්දල ප්‍රදේශයේ ධනවත් ධීවර ව්‍යාපාරික නිශාන්ත නමැත්තාට අයත් ධීවර බෝට්ටු 40 ක් නයාරු මුහුදේ අනවසරයෙන් හා බලහත්කාරයෙන් මසුන් මැරීමේ කටයුතුවල යොදා තිබේ.
හමුදා අනුග්‍රහ
දකුණෙන් පැමිණෙන මෙම ආක්‍රමණික සිංහල ධීවරයන්ට අවශ්‍ය ආරක්ෂාව හා රැකවරණය ලබා දෙමින් සිටින්නේ රජයේ ආරක්ෂක අංශ විසිනි. නයාරු මෝය ආසන්නයේ පිහිටි නාවික හමුදා කඳවුරත්, කෝකිලායි මෝය ආසන්නයේ පිහිටා ඇති නාවික හා යුද හමුදා කඳවුරුත් මෙසේ පිටතින් පැමිණෙන සිංහල ධීවරයන්ට සහාය ලබා දෙති. සිංහල ධීවරයන් විසින් නීති විරෝධී ක්‍රම යොදා ගනිමින් කෙරෙන මසුන් මැරීමේ කටයුතු සිදු වන්නේ මෙකී රජයේ ආරක්ෂක අංශ ඇස් ඉදිරියේදීම ය.
ධීවර දෙපාර්තමේන්තුව විසින් තහනම් කර ඇති ඩයිනමයිට්, අධික ධාරිතාවයෙන් යුත් අලෝක ධාරා, අහිතකර මාළු දැල් ඇතුළු තහනමට ලක්කර ඇති සියළු දේ යොදා ගනිමින් විශාල මසුන් අස්වැන්නක් නෙලා ගැනීමට මොවුහු උත්සුක වෙති. සාමාන්‍යයෙන් මිනිස් ශ්‍රමය මගින් මා දැල් ඇදීම සඳහා මීටර් 2,700 ක පමණ මුහුදේ දුර ප්‍රමාණයකට දැල එළීම කරනු ලැබේ. එහෙත් මෙම ආක්‍රමණික ධීවරයෝ මුහුදේ මීටර් 5000 හෝ 6000 ක් දුරට දැල් එළන අතර ඒවා ඇදීමට යොදා ගන්නේ ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර සුත්‍ර ය. ඒ මගින් විශාල මත්ස්‍ය ගහනයක් විනාශ වීම මෙන්ම මුහුදු ශාක හා කොරල් පර වැනි අනෙකුත් සාගර සම්පත් විනාශයට ලක්වීම ද සිදු වේ. ඉස්සෝ, දැල්ලෝ වැනි මසුන් අල්ලා ගැනීමේදීත් මොවුන් අනුගමනය කරනුයේ නීති විරෝධී ක්‍රමවේදයන් ය. ඒ තුළින් සාගර සම්පත්වලට වන හානිය පිළිබඳ මේ ආක්‍රමණික සිංහල ධීවරයෝ සැළකිල්ලක් නොදක්වති. මේ තුළින් ඉතාමත් අසරණභාවයට පත්වන්නේ ප්‍රදේශයේ දෙමළ ධීවරයන් වන අතර ඔවුන් ධීවර කටයුතුවල නිරතවනුයේ ස්වභාවික පරිසරය මෙන්ම මත්ස්‍ය සම්පත ද ආරක්ෂා කර ගනිමිනි. එහෙත් මේ ආක්‍රමණික සිංහල ධීවරයන්ගේ ගැටලුව දැන් ධීවර ප්‍රශ්නය ඉක්මවා ගිය පරිසර ප්‍රශ්නයක් බවට ද වර්ධනය වී තිබේ.
හිටපු ධීවර ඇමතිවරයා මීට දෑවුරුද්දකට පෙර මුලතිව් ප්‍රදේශයේ සංචාරය කරමින් මෙම ගැටලුව විසඳන බවට පොරොන්දු රැසක් ලබා දුන්න ද ඒ කිසිවක් මෙතෙක් ඉටුවී නොමැත. දිනෙන් දින ප්‍රශ්නය උග්‍ර වුවා හැරෙන්නට වෙනත් විසඳුමක් නොලැබිණ. මෙවරත් ඇමතිවරයා පැමිණ ඒ පිළිබඳව සොයා බලා ආපසු ගියා පමණි. එදිනම රාත්‍රියේ දෙමළ ධීවරයන්ගේ බෝට්ටු හා ධීවර වාඩි ගිනිබත් විය. එම ක්‍රියාවට දායක වූ සිංහල ධීවරයන් තිදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. වෙන්නප්පුවේ පදිංචි එක් ධනවත් සිංහල ධීවරයෙක් නාවික හමුදාවේ සහයෝගයෙන් නයාරු වෙරළ තීරයේ සෙම්මාරු ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන ඇති අතර ඔහු සිය ධීවර කටයුතු කරගෙන යනු ලබන්නේ එහි සිට ය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ මීට අවුරුදු හයකට පමණ පෙර එම ඉඩම දෙමළ ජාතිකයෙකු ගෙන් මිලදී ගත් බව ය. දැන් සියළුම ආක්‍රමණික සිංහල ධීවරයන් මෙම ස්ථානයේ සිට ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ නීති විරෝධී ධීවර කටයුතුවලින් දෙමළ ධීවරයෝ බලවත් පීඩාවට ලක්ව සිටිති.
මේ ආකාරයෙන්ම වඩමරාච්චි නැගෙනහිර වෙරළ තීරයේ මුහුදු කුඩැල්ලන් ඇල්ලීමට පැමිණෙන දකුණේ සිංහල ධීවරයෝ හා සමාගම් හේතුවෙන් ද , පේදුරු තුඩුවේ ට්‍රෝලර් මගින් මසුන් මරණ ආක්‍රමණික ධීවරයන් හා ශ්‍රී ලංකාවට අයත් මුහුදේ මසුන් මරන්නට පැමිණෙන ඉන්දීය ධීවරයන් නිසා ද පීඩාවට පත්වන උතුරේ දෙමළ ධීවරයෝ දෛනිකව මෙම ආක්‍රමණිකයන් සමග ගැටෙති.
කැකෑරෙන විරෝධය
උතුරුකරයේ ධීවරයා සිය ජීවිකාව සරි කරගන්නේ මුහුදෙනි. ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කරමින් ජිවිතේ වැඩි කාලයක් ගෙවා දමන්නේ මුහුදේ ය. ඔවුහු ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් මුහුද හා ඒ ආශ්‍රිත සම්පත් විනාශ කිරීමට වෙනුවට නිරන්තරයෙන්ම ඒ සියල්ල ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නේ එබැවිනි. එය යුද කාලයේත්, ඊට පෙරත්, පසුත් එසේම පවත්වාගෙන ආ එකම පිළිවෙතකි. එහෙත් පිටතින් පැමිණෙන ධීවරයෝ සහ සමාගම් ඉතාමත් කෙටි කලකින් විශාල මුදලක් ලබා ගැනීම වෙනුවෙන් උතුරේ ධීවරයා මෙතෙක් සිය පණ මෙන් රැකගෙන සිටි සාගර සම්පත් සියල්ල විනාශ කරමින් හා කොල්ලකමින් සිටිති. මේ වන විට පරිසර ප්‍රශ්නයක් බවට පත් ඇති මෙම ක්‍රියාවලිය, අනෙක් අතට පොදු මිනිස් සංහතියේම ගැටළුවක් බවට පත් වනු නිසැක ය. ලොව එකතැනක වන පරිසර හානියක් ලොව තව තැනකට විශාල පාඩුවක් ගෙන දීමේ හැකියාවක් පවතින බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. නිදසුනක් ලෙස පාවිච්චියට නුසුදුසු, කල් ඉකුත් වූ විශාල බෙහෙත් ද්‍රව්‍ය තොගයක් ඉන්දීය මුහුදට මුදා හැරීමෙන් පසු එහි බලපෑම පසුගිය දා එල්ල වුයේ ලංකා වෙරළ තීරයට ය.
මුහුද සිංහල හෝ දෙමළ යනුවෙන් වෙන්කළ නොහැකි වුවද එය විනාශ නොවී රැක ගැනීමට නම් දෙමළ ධීවරයාට එහි උරුමයත් අයිතියත් හිමිවිය යුතු ය. දෙමළ ජනයා මෙතුවක් කල් සිය ප්‍රදේශවල අයිතිය ඉල්ලා සටන් කරනු ලැබුවේත්, සටන් කරමින් සිටින්නේත් අනාගත පරපුර වෙනුවෙන් මෙකී විනාශයන්ගෙන් ස්වකීය සම්පත් රැක ගැනීම වෙනුවෙනි. එහෙත් ලංකා ආණ්ඩුව විසින් දෙමළ ජනයාට අයත් ස්වභාවික සම්පත් ඇති ප්‍රදේශ සිය පොලිසිය හා හමුදා යොදවා විනාශ කර දැමීමට අවශ්‍ය අනුබලය හා අනුග්‍රහය ලබා දෙමින් සිටියි. රාජ්‍ය හමුදාවන් හා ධීවර දෙපාර්තමේන්තුව එක්ව කෝකිලායි, කොක්කුතෝඩුවායි, කරුනාට්ටුකර්නි, නයාරු වැනි ප්‍රදේශවල නීති විරෝධී ලෙස සිංහල ජනාවාස ඉදිකරමින්, ධීවර කටයුතු කරගෙන යාමට අවශ්‍ය බලපත්‍ර ලබා දෙමින් දෙමළ ධීවරයන්ගේ අයිතිය උදුරා ගන්නට දැනටමත් කටයුතු ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් දෙමළ ධීවරයන් විසින් ධීවර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ඔවුන්ගේ දුක් ගැනිවිලි කිසිදු සැලකීමකට ලක් නොකෙරේ. පසුගිය දා ධීවරයන් කලහකාරී ලෙස හැසිරීමට බලපෑවේ ද, යාපනේ ධීවර දෙපාර්තමේන්තුව ඉදිපිටට රැස් වූ සියයකට වැඩි ධීවර පිරිසක් අදාළ බලධාරීන් හමුවීමට පැය දෙකක පමණ කාලයක් ගත කළ ද ඔවුන්ගෙන් කවර හෝ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයිනි.
යුද විජයෝන්මාදය
උතුරු -නැගෙනහිර පළාත්වල ජීවත් වෙන දෙමළ ධීවරයන්ට තමන් අවට මුහුද ඔවුන්ට අහිමි වෙමින් තිබේ. පිටින් පැමිණෙන සිංහල ධීවර පිරිස් දැන් එම මුහුදේ සම්පත් විනාශ කරමින්, ඉක්මන් ලාභ සොයමින් සිටිති. ඊට එරෙහිව වන දෙමළ ධීවරයෝ විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීමත් සමග සිංහල ධීවරයෝ සිය බලය පෙන්වන්නට උත්සුක වෙති. එවැනි සමත්කමක් මීට මාස කිහිපයකට කලින් මුලතිව් ප්‍රදේශයේදී ද මෙකී ආක්‍රමණික සිංහල ධීවරයන් විසින් දෙමළ ධීවරයන්ට එරෙහිව පෙන්නුම් කරන ලදී. නිරන්තරව සිදුවෙන මෙවන් දුක් ගැහැට ගැන දෙමළ ධීවරයෝ පොලිසියට පැමිණිලි කළ විට ඔවුන් කියා සිටින්නේ ඒවා එතරම් සැළකිල්ලට ගතයුතු ප්‍රශ්න නොවන බව ය. නාවික හමුදාවට පැමිණිලි කළ විට එය ඔවුන්ට අදාළ නොවන බව ඔවුහු පවසති. ධීවර දෙපාර්තමේන්තුව පවසනුයේ ඔවුන් කටයුතු කරනු ලබන්නේ නීතිය අනුව බව ය. එහෙත් එම නීතිය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ සිංහල ධීවරයන්ට වාසි අත්කර දෙමිනි. ධීවර දෙපාර්තමේන්තුව ධීවරයන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව, රැකවරණය, මගපෙන්වීම ලබා දීමට කටයුතු නොකරන තත්ත්වයක් තුළ මෙම ප්‍රදේශ වල දෙමළ ධීවරයෝ අතිශය අසරණ වී සිටිති.
දෙමළ ජනයා බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල සිංහල ආණ්ඩුව මෙන්ම, එහි පැමිණෙන සිංහල ජනයා ද කටයුතු කරනු ලබන්නේ තමන් ජයග්‍රාහකයන් යන මානසිකත්වයෙන් යුතුව ය. එබැවින් එම ප්‍රදේශවල පවතින සියල්ලම ඔවුන්ගේ අයිතියට සතු බවට පොදු හැඟීමක් පවතින බැව් පෙන්. නිදසුනක් ලෙස වව්නියාවේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි හින්දු කෝවිලට පහසුවෙන් පිවිසීම සඳහා මීටර් 150 ක් දුරක් පිය ගැට පෙළක් සකස් කිරීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. දැන් එය පුරාවිද්‍යා බිමක් ලෙස නම් කර තිබේ. මේ ආකාරයෙන් මධ්‍යම ආණ්ඩුව යටතේ ඇති පුරා විද්‍යා, ධීවර, වාර්මාර්ග, වනජීවී, ඉඩම්, කෘෂිකර්ම වැනි සෑම දෙපාර්තමේන්තුවක්ම කටයුතු කරමින් සිටින්නේ උතුරු නැගෙනහිර දෙමළ බස කතා කරන බහුතර ජනයාට කිසිදු අයිතියක් හිමි නොවන පරිද්දෙනි. මෙම දෙපාර්තුමේන්තු මගින් ගන්නා සෑම තීරණයක් විසින් ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී ද, මෙම ජනතාව පරාජිතයන් ලෙස හැඟවීමට කටයුතු කිරීම නිරන්තරයෙන්ම දක්කනට හැකි ය.
ඉහතින් කී දෙපාර්තමේන්තුවල කටයුතුවලින් මෙන්ම නයාරු ගින්න මගින් ද පෙන්නුම් කරනු ලබන යථාර්ථය වන්නේ යුද ජයග්‍රාහකයන්ට සියල්ල අයිති බව ය.☐
නිලාන්දන්